Category Archives: හොර ගිවිසුම්
‘අලි-කොටි’ : ‘මිහිඳු-කොටි’ හොර ගිවිසුම් සහ අනුන්ට කැපූ වලේ තමන්ම වැටීම.
රනිල් වික්‍රමසිංහ 2002 දී ප්රභාකරන් සමඟ සටන් විරාම ගිවිසුම අත්සන් කරද්දී එද විපක්ෂයේ සිටියවුන් ඊට හන්වඩු ගැසුවේ ’රනිල්-ප්‍රභා හොර ගිවිසුම’ ලෙසය. නීත්‍යානුකූලව ප්‍රසිද්ධියේ අත්සන් කොට යුධ මෙහෙයුම් නවතාලූ එම ගිවිසුම ’හොර ගිවිසුම’ ලෙස හඳුන්වමින් එවක විපක්ෂය ගෙන ගිය සටන් පාඨය කෙතරම් බලවත් වීද යත්, රනිල් ප්රමුඛ එජාපයට අද වනතුරුත් ඉන් ගොඩ ඒමට නොහැකි විය.
එම සටන් පාඨයේ නිර්මාතෘවරුන් දෙදෙනෙකු වන මංගල සහ හිටපු ශ්‍රීපති දෙදෙනා, රජයේ ඇමතිධූර අහිමිවීමෙන් පසු ජනාධිපතිවරණයේදී ’මහින්ද-ප්‍රභා හොර ගිවිසුමක්’ තිබුණා යැයි කීම ලාංකීය දේශපාලන තලයේ දෙබරයකට ගල් ගැසුවා වැන්නක් වීම ස්වාභාවිකය.
නමුත් මෙහි තිරය පිටුපස කතාව මෙසේය.
රනිල්ගේ සටන් විරාම ගිවිසුමෙන් පසු එල්ටීටීඊ පාලනයේ පැවති ප්‍රදේශවලට තම නිෂ්පාදන හෝ සේවා සැපයීමට මෙරට ව්‍යාපාරිකයිනට තද බල උවමනාවක් වූයේ, එහි පිරවීමට විශාල වෙළඳ හිඩැසක් තිබූ නිසාය. උදාහරණයක් ලෙස ’සිංගර්’ සමාගම වාර්තාගත ලෙස රුපියල් මිලියන400කින් පමණ සිය වෙළඳාම වැඩි කරගත්තේ එම වසරේ උතුරු නැගෙනහිරට රූපවාහිනී යන්ත්‍ර ඇතුළු භාණ්ඩ විකිණීමෙනි. නොයෙක් සමාගම්වල ’හොඳම අලෙවි නියෝජිතයා’ ලෙස දකුණේ සම්මාන ලැබූ ව්‍යාපාරිකයින්ට එය අහිමි වී වවුනියාවේ අලෙවි නියෝජිතයින් එය දිනා ගනු ලැබුවේද මේ හේතුව නිසාය.
මංගල ටෙලිකොම් ඇමතිවරයා ලෙස සිටියදී ඔහුගේ විශේෂ සැලකිලි මත සන්නිවේදන ව්‍යාපරයට බට ටිරාන් අලස්ලා ද උතුරු නැගෙනහිරට සන්නිවේදන පහසුකම් සැපයීමේ ඒකාධිකාර පිහිටුවා ගැනීමෙන් ලාභ දෙගුණ තෙගුණ කරගත්තේ ද මේ වකවානුවේය.
මෙසේ එල්ටීටීඊ ප්‍රදේශ වෙත සිය භාණ්ඩ හා සේවා සැපයීමේදී එල්ටීටීඊය ට බදු ගෙවීම අනිවාර්ය වීම මේ වනවිට කිසිදු රහසක් නොවේ. ලොකු කුඩා සියලු ව්‍යාපාරිකයෝ එය නොපිරිහෙලා ඉටුකළහ. මෙහිදී ’රනිල්-ප්‍රභා ගිවිසුම’ හොර ගිවිසුමක් යැයි අඬහැරපාන්නෝ ඉදිරියෙන්ම සිටියහ.උපාලි ගෲප් හි දිවයින පුවත්පත ’රනිල්-ප්‍රභා’ හොර ගිවිසුමට එරෙහිව දැවැන්ත ප්‍රචාරයක් ගෙනයද්දී එම සමූහ ව්‍යාපාරයේම පානීය වතුර බෝතල් සමාගම එල්ටීටීඊයට බදු ගෙවමින් එම ප්‍රදේශවල පානීය වතුර බෝතල් රස්සාව ජයටම කරගෙන ගියේය. කොටින්ම, එල්ටීටීය විසින් පවත්වනු ලැබූ ප්රවෘත්ති සාකච්ඡා වලට සහභාගී වන මාධ්‍යවේදීන්ට සාංග්රහ කිරීමට පවා ලබාදී තිබුනේ මේ ’උපාලි’ වතුරය.
ටිරාන් අලස් ලා ද සිය සන්නිවේදන ව්‍යාපාරය උතුරේ ඒකාධිකාරයක් කරගැනීමේදී, එල්ටීටීය ට සිය ලාභයෙන් කොටසක් බදු වශයෙන් දීම අනිවාර්ය දෙයකි. ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති වීමෙන් අනතුරුව එල්ටීටීය ට ඔහු තවත් අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු විය. අලස්ට පෙර සිටි ගුවන් සේවා ලොක්කන් සමඟද එල්ටීටීඊයට සම්බන්ධතා තිබුනේ ඔවුන්ගේ කටයුතු පහසු කරගන්නටය.
මහින්ද රාජපකෂ ජනාධිපතිවරණ සටනට එන්නේ රටේ මෙවැනි පසුබිමක් තිබියදීය. මංගල එහි කැම්පේන් මැනේජර් හෙවත් “කපුවා” වීමත් ඔහුගේ සමීප හිත මිතුරන් “කොට්ටොරුවන්” ලෙස දුම්මල දීමත් අපූරුවට සිදු විය.
ශ්‍රීපති කියූ හොර ගිවිසුම:
මංගලලා මහින්දගේ ජය වෙනුවෙන් සන්ධානය සමඟ අමනාපව ඉවත්ව සිටි ජවිපෙ නැවත කැන්දාගෙන ඒම සිදුකළ අතර, නිදහස් ඡන්දයකදී උතුරේ ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් රනිල්ට වැටීම වලක්වාලීමට හැකිනම් මහින්ද ගේ ජය තහවුරු වන බව ‘කැම්පේන් මැනේජර්’ ලාට නොපෙනුනා නම් පුදුමයකි.
නමුත් එල්ටීටීඊය යනු රනිල්ට හෝ මහින්දට හෝ කඩේ යන සංවිධානයක් නොවේ නම්, මංගලට, ශ්රීපතිට හෝ අලස්ට කඩේ ගියා යයි සිතිය හැකිද?
සිය වෙනම රාජ්‍යයක් වෙනුවෙන් ගිය ගමනේ එක් රටක් තුල ස්වයං පාලනය නම් රනිල්ගේ හිවල් උපායේ හිරවී සිටි ප්රභාකරන්ට (ප්රභාකරන් කියන පරිදි රනිල් හිවලෙකි) ඉන් මිදීමට නම් දකුණේ රාජ්‍ය නායකයා තේරීමට දෙමල ජනතාවගෙ සම්බන්ධයක් නැතැයි ජාත්‍යන්තරයට හැඟවීමත්, දකුණ සිංහල අන්තවාදයකට තල්ලු කිරීමෙන් සිය දෙමළ අන්තවාදය පෝෂණය කර ගැනීමට හැකිවීම, යන න්‍යායේ පිහිටා ඡන්ද වර්ජනයකට ගියා මිස, දකුණේ දෙශපාලකයන්ගේ කොට්ටෝරුවන්ට කඩේ ගියා යැයි සිතීම විහිළුවකි.
ප්රභාකරන්ගේ මේ තීරණය මහින්දට ආශිර්වාදයක් වීම සහ ඔහුගේ උවමනාවන් හා සමපාත වීම මංගලලා මහින්දට දැනෙව්වේ තම බල මහිමයෙන් මේවා සිදුවන බවකි. ඒ ජවිපෙ සාධකය සහ එල්ටීටීඊ ඡන්ද වර්ජනය මහින්දගේ රජයේ තීරනාත්මක සාධක ලෙසත්, එහි මූලිකයා තමන් බවත් පෙන්වා අගමැතිකම මංගලට ලබාගැනීමේ පීඩනයට මහින්ද හසු කරගැනීමටය.
ඉන්පසු සිදුවුනේ කුමක්ද?
මංගලට ඇමතිකම අහිමි විය. ඇමතිකමක් අහිමි වීමේ හිත් වේදනාවට, පැරණි පීඩනයේම අලුත් ගුණාකාරයකින් මහින්දව හසුකිරීමේ දේශපාලන තුරුම්පු වෙනස් කරමින් ඡන්ද වර්ජනයට ‘මහින්ද-ප්‍රභා’ හොර ගිවිසුමක් තිබුනු බව ප්‍රකාශ කිරිම දක්නට ලැබිණි.
ඇත්ත වශයෙන්ම එවැනි හොර ගිවිසුමක් තිබුනා නම්, එය හෙලිදරව් කරන්නේ නම්, ටිරාන් අලස්ලා, ශ්‍රීපතිලා වැනි දුම්මල දුන් පිරිසද එහි චූදිතයින් වීම අනිවාර්ය සාධකයකි. මහින්ද එදා සිට අද වනතුරු පන්න පන්නා හොයන්න හදන්නේ එයට සාක්ෂි නොවේද? අලස්ගේ මූල්‍ය අධ්‍යකෂවරයා අත් අඩංගුවට ගෙන සොයන්නේ සන්නිවේදන ව්‍යාපාරයේ දී එල්ටීටීඊ යට ගෙවූ මිල ගණන් වලට සාක්ෂි නොවේද? එම සාක්ෂි වලින් ඔවුන් කොටියන් කිරීමට නොවේද?
ඌරාගේ මාලු, ඌරාගේ ඇඟේම තබා කැපීමට මහින්ද සහ මංගල කණ්ඩායම් එකිනෙකා පරයා තරඟ කරනවා මිස, මේ රටේ ඉදිරි වැඩපිලිවෙළ, බඩු මිල පිළිබඳ ගැටළු, සෞඛ්‍ය ගැටළු, සහ තවත් බොහෝ දේ ගැන අවධානය යොමු කිරීමක් නොවේ.
‘හොර ගිවිසුම්’ කතා අවසානයේ සේවය කළේ කාටද?
එදා ‘රනිල්-ප්‍රභා’ සටන් විරාම ගිවිසුමට හොර ගිවිසුම යැයි පස් පඩංගුවේ දෙස් දෙවොල් තැබූ විමල් වීරවන්ස වැන්නවුන් අද එකතු වී සිටින උදවියම, කිසිදු හිරිකිතයකින් තොරව ‘හොර ගිවිසුම්’ ආරක්ෂා කරමින් සිටී.
එතෙක් නිදාගෙන සිටි රනිල්ද, අඩ නින්දෙන් නැගිට්ටාක් මෙන්, ‘මහින්ද-ප්‍රභා; හොර ගිවිසුම හෙළිකරන ලෙස ඉල්ලා හැඬුවේය. වසරකුත්, මාස ගණනක් පුරාවට ‘මහින්ද-ප්‍රභා’ හොර ගිවිසුමක් ගැන කෙළ බිඳකුදු නොහෙලූ මංගල හා ශ්‍රීපති, ඇමති මණ්ඩලයෙන් එලිපත්තට වැටුනු ගමන් ‘මහින්ද-ප්‍රභා’ හොර ගිවිසුම සාක්ෂිත් සමඟ ඔප්පු කිරීමට පෙළඹුනි.
මේ හොර ගිවිසුම් ඝෝෂකයින් අපව රැගෙන යන්නේ කොතැනටද?
මේ රටේ වැඩිහිටියන්ගේ ජීවිත කාලයෙන් භාගයක් සහ තරුණ තරුණියන්ගේ මුළු දිවියම විනාශ කළ යුද්ධය නිමා කිරීමේ ලකෂ්‍යයක් සොයා ගැනීමටද?
රනිල්-ප්‍රභා හොර ගිවිසුම් ඝෝෂාවෙන් බැට කෑ එජාපයද, සිය ගිලිහුණු බලය රැකගැනීමට මංගලලාගේ මහින්ද-ප්‍රභා හොර ගිවිසුම් ඝෝෂාවේම එල්ලීම නිර්ලජ්ජීතය. ආණ්ඩුව තමන් විසින්ම පත්කළ විද්වත් කමිටුවේ බහුතර විසඳුම් යෝජනා හෝ සාකච්ඡාමය විසඳුම් යෝජනාවලියකින් පැනගොස්, සිය ‘මැදමුලන’ කල්ලියට වඩාත් ලාභ ඉපැයිය හැකි ආකාරවලට දේ සකස්කරගැනීමෙන් බහුතර ජනයාට වන්නාවූ සෙතක් නොමැත.
‘හොර ගිවිසුම්’ ලෙස මේ අය යොදාගන්නා මේ යෙදුම් කලින් කලට , දකුණේ බලය ලබාගැනීමට, දකුණේ ජනයා අණ්ධකාරයේ ගිල්වා තැබීමට යොදා ගන්න යෙදුම් බව ජන්තාව මතක තබා ගත යුතුය. එසේම, මෙසේ දකුණේ ජනයා අණ්ධකාරයේ ගිල්වා, කිසිඳු පාර්ශවයකට කිසිඳු ජයග්රහනයක් ලබාගන්නට නොහැකි වනවායයි අප කියන්නේ, අනුනට කපන වලේ තමන්ම වැටීමට සිදුවීම, දැන් ඕනවටත් වඩා වැඩියෙන් ඔප්පු වී ඇති හෙයිනි.
2007 මාර්තු 1 වනදා, විමල් ධීරසේකර විසින් ලංකාඊනිවුස් වෙබ් අඩවියට සම්පාදනය කළ ලිපියක් ඇසුරෙන් නැවත සකස් කරන ලදී